යම්කිසි සංස්කෘතියක් කවර අතින් වෙනස් වුණත් එහි හරය වෙනස් නොවුණහොත් ඒ සංස්කෘතියට හානියක් නොවනු ඇතැයි සිතිය හැකිද?
ලෝකයේ කිසිම දෙයක් එකම තැනක එකම විදිහට තියෙන්නේ නැහැ. මේක සංස්කෘතියටත් පොදු වූ දෙයක්. ඕනෑම සංස්කෘතියක් බාහිර වශයෙන් වගේම ආභ්යන්තරිකවත් වෙනස් වෙනවා.
පෙර අපරදිග ආක‍්‍රමණ අවස්ථාවලදී අපේ සංස්කෘතියට බලපෑම් එල්ල වුණා. ඒ අනුව ඒක වෙනස් වුණා. තෝමස් ස්කිනර් කියන විදේශීය ග‍්‍රන්ථ කතුවරයා ලංකාව ගැන ලියද්දී 19 වෙනි සියවසේදී කොහොමද ලංකාව වෙනස්වුණේ් කියලා පෙන්වලා තියෙනවා.
මේක ලංකාවට විතරක් නොවේ ලෝකේ ඕනෑම සංස්කෘතියකට පොදු තත්ත්වයක්. බලපෑම් අනුව සංස්කෘතිය වෙනස් වනවා.
නමුත් මේ අතර ස්ථාවරව පවතින දේවලුත් තිබෙන බව අපට පෙනිලා තියෙනවා; දැන් අපේ සංස්කෘතිය දිහා බලපුවාම පේනවා; විවිධ බලපෑම් නිසා නොයෙක් හානිකර, දරුණු දේ අපේ රටට ඇවිත් තිබෙන බව.
නමුත් අපේ මිනිසුන්ගේ ගුණ යහපත්කම් ඒවායින් සම්පූර්ණයෙන්ම යටපත් වෙලා නැහැ. ඒවා ඉතිරිවෙලා තියෙනවා. ඒවා යන්තම් අවදි කරලා ගන්න විතරයි ඕනේ.
මෙහෙම අපේ පසුබිම ස්ථාවරව පවත්වාගෙන යන්න අපට බලපෑවේ අපේ ආගමයි. ඒකෙ දෙකක් නැහැ. අපේ සංස්කෘතියේ ශක්තිය තියෙන්නේ බුද්ධාගමේ ආභාසය හේතුකොටගෙනයි. ඒක අන්යාගමික පිරිස් පවා පිළිගන්නවා.
අපි බොහොම මැදහත් කි‍්‍රස්තියානි පූජකවරයකු විදිහට ගරු කරන මර්සලීන් ජයකොඩි පියතුමාත් කියලා තියෙනවා බුදුසමය තමයි අපේ සංස්කෘතියේ පදනම කියලා. ඒක අද කාටවත් ප‍්‍රතික්ෂේප කරන්න බැහැ.
අද අපේ සංස්කෘතියේ භෞතිකව ඉතිරිවෙලා තියෙන්නේ මොනවාද? අනුරාධපුරය, පොළොන්නරුව වගේ ස්ථානයි. එතකොට ඒවා ඔක්කොම බෞද්ධ දේවල්. ඒ හැර තියෙන දේවල් අල්පයි. ඒ සමඟම මිනිසුන්ගේ හදවත්වල තිබෙන දේත් බෞද්ධ සම්ප‍්‍රදාය එක්ක බැඳීලා තියෙන්නේ.
කිසියම් ජාතියක අනන්යතාව සැලැකීමේදී වැදගත් සාධක අතර කලා රසිකත්වය, චර්යාධර්ම, ජීවන ආකල්ප වැනි අංගයන් වැදගත් වෙනවා. නමුත් වර්තමානයේ බිහිවී තිබෙන මාධ්‍ය සංස්කෘතිය හමුවේ අපේ සංස්කෘතියේ හර පද්ධතීන් වගේම පෙර කී සාධකත් අභියෝගයට මුහුණ දීලා තිබෙන බවත් පෙනෙනවා?
මම මගේ ජීවන ගමනේ හැටේ කඩඉම පන්නපු කෙනෙක්. පසුගිය අවුරුදු 50-60ක කාලය තුළ සමාජය වෙනස් වුණු ආකාරය බලපුවාම මාධ්‍ය පෙර නොවූ විරූ ආකාරයට සමාජයට බලපා තිබෙන බව පේනවා.
අපි ඉස්කෝලේ යන කාලේ එක දිනපතා පුවත්පතයි තිබුණේ. ඒ දිනමිණ පුවත්පතයි. ගුවන් විදුලියයි එකම විද්‍යුත් මාධ්‍ය වුණේ. මේ මාධ්‍ය එදා හැසිරුණේ් බොහොම වගකීමෙන්. අද අපි භාෂා දූෂණයක් ගැන කතා කරනවා.
ඒ කාලේ පත්තර අරගෙන බලපුවාම ඒවායේ ව්යාකරණ දෝෂ තිබුණේ් නැහැ. මොකද එදා පත්තරවල හිටියේ මාර්ටින් වික‍්‍රමසිංහ, පියසේන නිශ්ශංක, ජුලියස් ද ලැනරෝල්, මහානාම දිසානායක වගේ භාෂාව පිළිබඳව හසල දැනුමක් තියෙන අයයි.
නමුත් අද හැම පුවත්පතක්ම භාෂාවට හානිකර අන්දමිනුයි හැසිරෙන්නේ. එදා තිබූ භාෂාව සුරැකීමේ උතුම් පරමාර්ථය අද පුවත්පත් මඟහැරලා දාලා තියෙන්නේ.
එදා ගුවන්විදුලිය වුණත් සාරධර්මවලට හානියක් වන වැඩසටහන් ප‍්‍රචාරය කළේ නැහැ. අඩුම ගානේ පහත් යැයි කියලා හිතෙන ගීතයක් වත් එහි ප‍්‍රචාරය වුණේ් නැහැ. ඒ වගකීම් ඔවුන් මැනැවින් තේරුම් අරගෙන කටයුතු කළා.
නමුත් පස්සේ මේ ආයතනවලට නුසුදුසු විදිහට බාහිර බලපෑම් හේතුවෙන් පිරිස් ආවා. ඒ අය පටන් ගන්නෙත් වැරැදි විදිහට, වැරදි තැනින්නේ. ඉතින් වැරදි මුලක් තිබෙන මේ අයගෙන් වගකීමක් තිබෙන මාධ්‍ය කලාවක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.
මේ රටේ අද තිබෙන ප‍්‍රබලතම ජනමාධ්‍යය රූපවාහිනියයි. ඒක අපි පිළිගන්න ඕනේ. එදා ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව කාලයේ ලංකාවට රූපවාහිනිය හඳුන්වලා දෙද්දී ඒකෙ සභාපතිවරයා වුණේ එම්.ජේ.පෙරේරා මහත්තයයි.
ජේ.ආර්.ජයවර්ධන මහත්තයා එක්ක අපිට විවිධ ගැටුම් තිබුණා. ඒත් ඔහු ගත්තු නිවැරැදි පියවරක් විදිහට එම්.ජේ.පෙරේර මහත්තයා රූපවාහිනියේ සභාපති කිරීම සලකන්න පුළුවන්. ඔහු ඉතා අපක්ෂපාතී කෙනෙක්.
ඒ වාගේම ඔහුට ඉහළ රුචිකත්වයක් තිබුණා. ඒ නිසා එදා රූපවාහිනියේ සම්භාව්‍ය සංගීත වැඩසටහන් ආදී උසස් සාහිත්‍ය කලා වැඩසටහන් රැසක් නිපැයුණා. මෙතැනදි වැදගත් දෙයක් මම ඔබට කියන්න ඕනේ.
රූපවාහිනිය වගේ වැඩි පිරිසක් නරඹන මාධ්යයක් පහත් රුචිකත්වයක් තිබෙන කෙනෙක් මෙහෙයවන්න ගත්තොත් සමස්ත සමාජයම වළ පල්ලට ඇද දාන එක වළක්වන්න බැරිව යනවා. එදා රූපවාහිනියේ වරදක් සිද්ධ වුණේ ඉතා අඩුවෙන්.
තිබුණු වරදක් හරි අපි පෙන්වලා දුන්නොත් ඒකට ප‍්‍රතිචාර ලැබුණා. නමුත් කනගාටුයි කියන්න අද ඒ වගේ තත්ත්වයක් නැහැ. අද මේ රටේ ජාතික රූපවාහිනිය කියලා එකක් තියෙනවා.
ඒ වුණාට ඒකෙ නමේ තියෙන ජාතික ගතියක් අපට පේන්නෙ නැහැ. මම නම් දකින්නේ මේසවලින් වැටෙන ඉඳුල් අහුලන තත්ත්වයට අද අපේ ජාතික රූපවාහිනිය පත්වෙලා කියලයි.
එය වාණිජ පරමාර්ථම මුල්කොට ගෙන කි‍්‍රයාත්මක වීම නිසා නේද මේ තත්ත්වයට පත්වන්නේ?
ඒත් මේකත් මතක තියාගන්න. ඔබ හිතනවද මිනිස්සු සල්ලි දීලා පහත් දේවල් ගන්න සූදානම් කියලා. තවමත් මේ රටේ ඉහළ රුචිකත්වයක් තිබෙන පිරිසක් ඉන්නවා. ඔවුන් සූදානම් නැහැ පහත් දේවල් ගන්න.
මම ඔබට තව අතීතයෙන් නිදසුනක් පෙන්වන්නම්. එදා දිනමිණ පත්තරේට පස්සෙයි ලංකාදීප පත්තරේ පටන් ගන්නේ. එදා ලංකාදීපය, දිනමිණට වඩා වෙනස් ආකාරයෙන් ඒ අයගේ වාණිජ පරමාර්ථය අරගෙන ගියේ.
ඒත් ඒ අය යම් යම් සීමාවල රැඳුණා. භාෂාවට, සංස්කෘතියට හානි කළේ නැහැ. අද වගේ අඩනිරුවත් රූප දාලා පත්තර විකුණාගන්න උත්සාහ කළේ නැහැ.
කොහොම වුණත් පුවත්පත සෘජු දේශපාලනයට යෑම නිසා හානියක් සිද්ධ වුණා. ඒවායේ ස්වාධීනත්වය බිඳ වැටුණා. රජුන් තනන්නන් බවට පත්වුණා. පිල් බෙදුණා. ඒ නිසා පහරදීම් පටන්ගත්තා. ඒකෙ ප‍්‍රතිඵලයක් ලෙස සාරධර්ම බිඳ වැටුණා. එතකොට වගකීමෙන් තොර දේවල් තමයි මේවායින් පළවන්නේ.
ඒ වාගේම අද සමහර මාධ්යවේදීන් අපිට ඕනැ දෙයක් කරන්න පුළුවන්, අපි තරම් කෙරුම්කාරයෝ නැහැ කියන පුහු මතයට ඇවිල්ලා තියෙනවා. මේකත් මහා හානියක් විදිහටයි මම දකින්නේ.
භාරතීය ජාතික ව්යාපාරයෙහි දේශපාලන සටන සංස්කෘතික සටන හා ඒකාත්මිකවූ බවක් පෙනෙනවා. ඒ අනුව නාට්‍ය, සංගීතය වැනි භාරතීය කලා අංග කෙරෙහිත් ඔවුන් වැඩි අවධානයක් යොමු කළා. මේ නිසා අදත් මේ සම්ප‍්‍රදායයන් ඉන්දියාව තුළ මැනැවින් සුරැකෙන බව පෙනෙනවා. එහෙත් අපේ ජාතික ව්යාපාරයේ එලෙස කලා ශිල්ප කෙරේ යොමු වුණු බවක් නැහැ. මේ නිසා නේද අද ඒ අංශයන්හි විශාල පරිහානියක් දක්නට ලැබෙන්නේ?
සංගීතය හා නැටුම් ආදි කලා ශිල්ප ගත්තහම, උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය, දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතය ආදි ලෙසට ඉන්දියාවට අපිට වඩා ලොකු සම්ප‍්‍රදායන් තියෙනවා.
ඒ වාගේම ඒ සම්ප‍්‍රදායන් අදටත් ඒ රටේ ආරක්ෂා වෙලා තියෙනවා. අපේ රටෙත් මේ සම්ප‍්‍රදාය ඉගෙන ගෙන ආව පිරිස් ඉන්නවා. ඒ කියන්නේ අපිත් ඒ සම්ප‍්‍රදාය මෙරටට ගෙනල්ලා රෝපණය කරන්න හැදුවා. කලාකාරයෝ අපේ නිදහස් සටන කාලයේ ඕවා ගොඩනඟාගෙන ආවා. ඒ කාලයේ තිබුණු රජයේ කලායතනයේ සංගීත අංශය, නැටුම් අංශය, චිත‍්‍ර අංශය වගේ අංශ තිබුනා.
මෙහෙම අපිට මහා සම්ප‍්‍රදායක් නැතිවත් ඉන්දියාවෙන් ගෙනල්ලා රෝපණය වුණු කලාවක් තිබුණා. ඒ කාලේ චිත‍්‍රසේනලා, පේ‍්‍රමකුමාර එපිටවලලා මුද්රා නාටක හැදුවෙත් භාරතීය සම්ප‍්‍රදායේ ආභාසය ඇතිවයි.
මේ නිසා මේකෙ වරද අපේ ජාතික ව්යාපාරයේ නොවේ. මේ රටේ ජනමාධ්‍ය මේවාට තැනක් නොදීමයි වෙලා තියෙන්නේ. ඒ කාලේ සැළලිහිණි සන්දේශය මුද්රා නාටකය එහෙම හදලා අපේ මුද්‍රා නාට්‍ය ශිල්පය ඉහළ තලයකට ඇවිත් තිබුණා.
නමුත් දැන් තිබෙන ජනමාධ්යවල ඒවාට තැනක් ලැබෙන්නේ නැහැ. අද තාරුණ්යයේ නැටුම් කියලා, සංගීතය කියලා පෙන්වන්නේ සංකර දේවලුයි. මේවා අපේ ජාතික ව්යාපාරයේ වරද නොවේ. ඇත්තෙන්ම මම කිව්ව විදිහට අපේ ජාතික ව්යාපාරය යමක් ගොඩනඟන්න උත්සාහ කළා. නමුත් ඒක ඉදිරියට ගියේ නැහැ.
අනික් කාරණය තමා අපේ ඊළඟ පරම්පරාවට මේක නොයෑම. ඉන්දියාවේ එදා හිටපු කලා ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රවීණයන් වූ අලව්දීන් ඛාන්, විලායත් ඛාන් වගේ අය අද නැහැ. නමුත් ඒ අයගේ තැන ගන්න විශාල පිරිසක් බිහිවෙලා ඉන්නවා.
සෑම සෙනසුරාදාම ø නවය හමාරට ඉන්දියාවේ ගුවන්විදුලි නාලිකාවලට සවන් දෙන අය මේක දන්නවා. එතැන සම්ප‍්‍රදාය රැකිලා තියෙනවා. ජාති ආගම් භේදයක් නැහැ. නමුත් අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ.
එදා ඇති කරන ලද සම්ප‍්‍රදාය රැගෙන යන්න නව පිරිසක් බිහිවෙලා නැහැ. බිහිවෙන බවකුත් නැහැ. මෙවැනි කරුණු තමා අපිට මෙතෙන්දි බලපෑවේ. එහෙම නැතිව අපේ ජාතික ව්යාපාරයේ වරදක් නැහැ.
අද අප කතා කරන මේ ජාතිකානුරාගය, ජාතිකාභිමානය යනාදී හැඟීම් අප තුළ අවංකවම ගොඩ නැඟුණු තත්ත්වයන් ද නැත්නම් කිසියම් ජාතියකට, ජනවර්ගයකට එරෙහිව ගොඩනඟා ගන්නා ලද විරෝධාකල්පයක් ද?
ලෝකයේ හැමෝ ම එක වගේ නැහැ. පෙළපාළියක් යන පිරිසක් ගත්තොත් එතැන ඉන්නෙ විවිධ අභිමතාර්ථ තියෙන අයයි. ඒ වාගේ ම තමයි ඔය ජාතිකානුරාගී ව්යාපාරවල තත්ත්වයත්. ඒවායේ ඉන්න හැමෝම අවංක අය නොවේ.
වෙනත් න්‍යාය පත‍්‍ර තියාගෙන කටයුතු කරන අයත් ඉන්නවා. ඔය අතරේ ඕවාට මුළා වෙලා ඉබාගාතේ යන පිරිසකුත් ඉන්නවා. ජාතිකානුරාගය කියන්නේ බොහොම විචාරාත්මකව බැලිය යුතු දෙයක්.
මම ලෝකයේ ජාතිකානුරාගී ව්යාපාර පිළිබඳව අධ්යයනය කරලා තියෙනවා. මේ හැම තැනකදීම මම දැක්ක දෙයක් තමා මේක හරිම උද්යෝගශීලී මාතෘකාවක් වීම. ආගම වගේ උද්යෝගශීලියි.
සමහරුන්ට ආගමට තියෙන ආදේශකයක් තමයි ජාතිකානුරාගය කියන්නේ. මේක විවිධ අභිමතාර්ථ වෙනුවෙන් භාවිත කරන පිරිස් ඉන්නවා. මේ නිසා මේ ගැන අපි බුද්ධිමත්ව බැලිය යුතුයි. මොකද ලෝක ඉතිහාසයේ කිසිම දවසක ජනවර්ගයක් පාගන්න පුළුවන්කම ලැබිලා නැහැ. එහෙම පාගන්න හැදුවොත් ඒ ජන වර්ගය තව තවත් නැඟී සිටිනවා. හොඳම උදාහරණය තමා කුර්දිවරු. කුර්දින්ට රටක් නැහැ.
ඔවුන් ඉරාකයේ, තුර්කියේ, පර්සියාවේ විසිරිලා ඉන්නවා. මේ කුර්දිවරුන් සමූල ඝාතනය කරන්න සදාම් හුසෙන් උත්සාහ කළා. නමුත් ඒක කරන්න බැරි වුණා. ජාතිකානුරාගය කියන්නේ පාගන්න පාගන්න නැඟී සිටින තත්ත්වයක්. ඒ නිසා ඒවා සාධනීය අයුරින් භාවිතයට ගන්න ඕනේ.
වර්තමානයේ සියබස පිළිබඳ තැකීමක්, ගෞරවයක්, අධ්යයනයක්, අවධානයක් නැති පරපුරකට අප කිය යුත්තේ කුමක්ද?
භාෂාව තමයි ජාතික අනන්යතාවයේ පදනම. ඒක මත තමයි ජාතියක අනන්යතාව රදා පවතින්නේ කියා කිය යුතුයි. මේක විදේශයකට ගියහම පැහැදිලිව පෙනෙනවා. දැන් බලන්න ඉන්දියානුවන්, පකිස්තානුවන්, බටහිර ඉන්දීය කොදෙව්වන්, ලාංකිකයෝ මේ හැමෝම එක වගෙයි.
විදේශයකදි හමු වුණාම මේ අය කොයි රටේ ද කියලා හඳුනාගන්න අමාරුයි. මේ පිරිස්වල වෙනස තියෙන්නේ භාෂාවෙයි. සංස්කෘතියෙයි. සංස්කෘතියේ හරය තියෙන්නේ භාෂාවෙයි. මොකද සංස්කෘතිය උරාගන්නේ භාෂාවෙන් නිසා.
භාෂාව නැත්නම් සංස්කෘතිය ගොඩනඟන්න අමාරු වෙනවා. දැන් අපිට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් සිංහල සංස්කෘතිය ගැන උගන්වන්න පුළුවන්. බුද්ධාගම, සිංහල සිරිත් විරිත් කියලා දෙන්න පුළුවන්.
ඒත් ඒක නියම සිංහල සංස්කෘතිය වන්නේ නැහැ. භාෂාව කියන එක හිත තුළ තැන්පත් වෙන්නෙ අපේ සිරිත් විරිත්, සාරධර්ම, ඇදහිලි විශ්වාස ආදිය එක්කයි. ඒක අපේ ජීවිත කාලයම පවතිනවා. ඒ නිසා සංස්කෘතියේ පදනම භාෂාවයි. ඒ බව නිරන්තරයෙන් වටහා දිය යුතුයි.
අද අධ්‍යාපන ක්ෂ්ත‍්‍රයේ අප දකිනවා නොදන්නා භාෂාවකට හරවාලන්න දරන තැතක්?
පසුගිය දවස්වල මට අහන්න ලැබුණා. සමහර විශ්වවිද්යාලවල කලා විෂයනුත් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න යනවා කියලා. දැනටමත් විශ්වවිද්යාලවලින් පිටවන අයට හරියට සිංහලවත් ඉංග‍්‍රීසිවත් ලියන්න කියන්න බැහැ කියලා කියනවනේ.
එහෙම තියෙද්දී මේ වගේ තත්ත්වයක් ඇති කළොත් වෙන්නේ ඔය තත්ත්වය තවදුරටත් නරකට හැරීමයි. මොකද ඔය ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න යන පිරිසක් බොහෝවිට සිංහලෙනුයි ඔය විෂයන් ඉගෙන ගෙන තියෙන්නේ.
අනික විශ්වවිද්යාලයේ දැනට ඉන්න බොහෝ කථිකාචාර්යවරුන්ට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පොතක් පතක්වත් කියවන්න බැහැ. ඒ වාගේ ම දැනට සිංහලෙන් කෙරෙන දේශන කියලා සමහරු කරන්නේ කියවන විට ලිවීමයි.
මේක ඉංග‍්‍රීසියෙන් කරන්න ගියහම තව තවත් මේක උග‍්‍ර වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැනෙ. එතකොට මේ අය හරියට කියවාවිද, ළමයි හරියට ලියාගනීවිද කියන ගැටලුත් එනවා.
මේ වගේ තත්ත්ව විශ්වවිද්යාලවල දීර්ඝ කාලයක් තිබුණු ඌනතා නිසයි හටගන්නේ. කොහොම වුණත් මේවායින් අන්තිමට වන්නේ අපේ විශ්වවිද්යාලවලින් ඇති වන උපාධි ශත පහක් වටින්නේ නැති උපාධියක් වන එක විතරයි.
අඩුම ගානේ ස්වභාෂා මාධ්යයෙන් කතා කිරීමේ හැකියාවවත් මේ අයට තියෙනවා. තමන් නොදන්න භාෂාවකින් කොහොමද අනුන්ට දේශනා තියන්නේ. භාෂා ප‍්‍රතිපත්ති කියන ඒවා ඔහොම කෘති‍්‍රමව කරන්න බැහැ.
56 දීත් මේකයි සිද්ධ වුණේ. මේ හදන්නේ ඒක කණපිට හරවන්නයි. එදා යන්තම් හරි අපට සැනසෙන්න පුළුවන්කම තිබුණා. මොකද අපි දන්න අපේ භාෂාවට නේ් මේ හැරෙන්නේ කියලා. ඒත් දැන් කරන්න හදනවා වගේ නොදන්නා භාෂාවකට හරවන්න ගියොත් අධ්යාපනය කඩාකප්පල් වන එකයි සිදුවන්නේ.
රටක භාෂා ප‍්‍රතිපත්තිය කියන්නේ ඉතා වැදගත් එකක්. මේ ගැන තීරණ ගද්දී ආවාට ගියාට අරගෙන හරි යන්නේ නැහැ. අනික මේවා දීර්ඝ කාලීන වන්නත් ඕනේ. එක පාරට ගලෙන් ගහනවා වගේ වෙනස් කරන්න හොඳ නැහැ. පියවරෙන් පියවර වෙනස්වීමකුයි මේවායේ තියෙන්න ඕනේ. එහෙම නොවුණාම පරම්පරා කිහිපයක් අතරමං වෙනවා.
මුනිදාස කුමාරතුංග පඩිවරයා පිළිබඳව ඔබේ වටහා ගැනීම කෙබඳුද?
මම ඉතාමත් ගරු කරන කෙනෙක් තමයි කුමාරතුංගයන්. එතුමා ආශ්චර්යවත් පුද්ගලයෙක්. අවුරුදු 57 යි ජීවත් වුණේ. ඒත් ඒ කාලය තුළ කළ වැඩ කොටස අපි වගේ හතර දෙනෙකුටවත් කරන්න බැහැ.
පොත් කීයක් ලියුවද, පුවත්පත් කීයක් කළාද, දේශන ආදිය කොපමණ කළා ද. මෙහෙම බලපුවාම එතුමා කරපු සේවය පුදුම සහගතයි. අනික ඒ කරපු හැම වැඩක් ම ඉහළ මට්ටමේ ඒවා. අහක දාන්න කියලා කිසිම දෙයක් ඒවායේ නැහැ.
ඔබ අහපු ප‍්‍රශ්නයට යොමුවෙනවා නම් එතුමා අසාර්ථකවීමට කරුණු දෙකක් මම දකිනවා. එකක් තමයි එතුමා තමන්ගේ ගමන යන්න හැදුවේ තියෙන දේවල් සම්පූර්ණයෙන් ම ප‍්‍රතික්ෂේප කරලයි.
ඒවාට එරෙහිව සටන් කරලයි. උදාහරණ විදිහට පෙන්වනවා නම් එතුමා අපේ සමහර භික්ෂු ප¾ඩිවරු දැඩි ලෙස විවේචනය කළා. ඇතැම් විවේචන ඉතා අසාධාරණ විදිහට සිද්ධ වුණා. එවැනි දැඩි විවේචන පිළිගන්න සමහර පිරිස් කැමැතිත් නැහැ.
අනික් කරුණ තමා ගුරු කුලයක් වගේ පිරිසක් හදාගෙන ඒකට සීමිත පිරිසක් විතරක් එක්වීම. මේනිසා අනික් පිරිස් මේකට සම්බන්ධවීම ප‍්‍රතික්ෂේප කරනවා. මේ නිසාත් එතුමාගේ සේවය පසුබෑවා. අනික මේකෙ අන්තවාදී ස්වරූපයකුයි තිබුණෙ. මිනිස්සු කොහොමටත් අන්තවාදයට කැමැති නැහැ. ඒ නිසා ඒවායින් ඈත්වෙන්න උත්සාහ කරනවා.
කුමාරතුංග මහත්තයාට වුණු ලොකුම හානිය තමයි අන්තවාදියකු ලෙස බොහෝ දෙනකු එතුමා දැකීම
මහාචාර්යකේ.එන්.ඕ.ධර්මදාස
සංලාපය
මලික් චමින්ද ධර්මවර්ධන
ඡායාරූපය - සුදම් ගුණසිංහ
මලික් චමින්ද ධර්මවර්ධන
ඡායාරූපය - සුදම් ගුණසිංහ
No comments:
Post a Comment